Body

ඩයලොග් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පන්දුවාර 20 ලෝක කුසලානය වෙනුවෙන් ‘අපේ කොල්ලෝ’ ගීතය එළිදක්වයි

October 15, 2021         Colombo

 

Amali Nanayakkara,  Dialog Axiata PLC hands over the first CD of the ‘Ape Kollo’ song to Dr. Jayantha Dharmadasa

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී අමලි නානායක්කාර විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා වෙත ‘අපේ කොල්ලෝ’ ගීතයේ පළමු සී.ඩී පටය භාරදුන් අවස්ථාව. ‘අපේ කොල්ලෝ’ ගීතය ගායනයට එක්වන ඩයලොග් සන්නාම තානාපතිවරුන් වන (වමේ සිට දකුණට) මාධවී, සංඛ දිනෙත්, සනුක, සජිත, සන්තුෂ්, ශ්‍රී ලංකා ක්‍රිකට් අලෙවි ප්‍රධානී උපුල් නවරත්න බණ්ඩාර, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යේෂ්ඨ සාමාන්‍යාධිකාරී - සන්නාම සහ මාධ්‍ය - හර්ෂ සමරනායක, භාතිය, උමාරියා, සෙනාලි සහ ආරාධිත ශිල්පී රෝයි (ඡායාරූපයේ නොමැති-යොහානි) ද මෙහි වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග එකතුවෙන්, 2021 ඔක්තෝබර් 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඇරඹෙන පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දිරිදීමේ ‘අපේ කොල්ලෝ’ ගීතය ඉකුත්දා එළිදක්වන ලදී.

ශ්‍රී ලාංකේය ජනප්‍රිය ගායන තරු සහ ඩයලොග් සන්නාම තානාපතිවරු වන භාතිය, සන්තුෂ්, උමාරියා, යොහානි, සංඛ, සජිත, සනුක, සෙනාලි, මාධවී සහ ආරාධිත ශිල්පියෙක් වන රෝයි ජැක්සන් මෙම ගීය වෙනුවෙන් ගායනයෙන් දායක වූහ.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත සුවහසක් ශ්‍රී ලාංකියන්ගේ සුභාසිංසන පිරිනැමෙන සේ ඔවුනට සහයෝගය දක්වනු පිණිස නිර්මානය වූ මේ ගීයේ පද නිර්මාණය කරන ලද්දේ Triad විසිනි.

ශ්‍රී ලංකාව පන්දුවාර 20 ලෝක කුසලාන ගමන ඔක්තෝබර් 18 වැනිදා නැම්බියාව සමග තරගයෙන් ඇරඹී ඔක්තෝබර් 20 වැනිදා අයර්ලන්තය සමගද, ඔක්තෝබර් 22 වැනිදා නෙදර්ලන්තය සමගද අදාළ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටය යටතේ තරග වැදීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් සිය අදහස් දැක්වූ ආචාර්ය ජයන්ත ධර්මදාස මෙසේ පැවසීය. “මෙම පන්දුවාර 20 ලෝක කුසලාන ගීතය යථාර්ථයක් කිරීම සම්බන්ධයෙන් ඩයලොග් ආසිආටා සමාගමට මාගේ ස්තුතිය පිරිනමනවා. මේ ප්‍රසංශාව ක්‍රීඩකයන්ට වගේම ප්‍රේක්ෂකයන්ගේත් ජයග්‍රාහී මානසිකත්වය ඉහළ නංවන්නක්. ඉකුත් මාස කිහිපයේදී කණ්ඩායම ක්‍රීඩාකළ තරගාවලි සහ පුහුණු තරගවල උපකාරයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියට හොඳම සංයුතිය සකසාගැනීමට අපට හැකිවුණා.”

“ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා වශයෙන්, මෙම පන්දුවාර 20 ලෝක කුසලානය අභිමුව ජාතික කණ්ඩායම වෙනුවෙන් සෑම ශ්‍රී ලාංකිකයෙක්ගේම සුබපැතුම් එක්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග එක්වීමට ලැබීම ඩයලොග් හට සතුටක්. මම ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ප්‍රර්ථනා කරනවා.” යැයි ඩයලොග් ආසිආටා පීඑල්සී හී සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී අමලි නානයක්කාර පැවසුවාය.

දේශීය ක්‍රීඩා හැකියාවන් ජාතික සහ ජාත්‍යන්තර තලය දක්වා බලගැන්වීම උදෙසා ඇප කැපවෙමින් 2023 වසර දක්වා ‘ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා’ ලෙසින් ඩයලොග් ආසිආටා සමාගම දස වසරක අනුග්‍රාහකත්වයකට එළැඹුණි.

ජාත්‍යන්තර ක්‍රිකට් වංශ කථාවේ අභිමානවත් අතීතයක් හිමි ශ්‍රී ලංකාව 1996 අයි.සී.සී ලෝක කුසලානය සහ 2014 පන්දුවාර 20 ලෝක කුසලානය දිනාගැනීමට සමත් වූ අතර 2002 අයි.සී.සී ශූරයන්ගේ කුසලාන සම ශූරතාව සමග 1986, 1997, 2004, 2008 සහ 2014 ආදී වශයෙන් 5 වරක් ආසියානු කුසලාන ශූරයන් විය.

ඩයලොග් ආසිආටා සමාගම විසින් ක්‍රිකට්, රග්බි, වොලිබෝල් සහ දැල්පන්දු ජාතික කණ්ඩායම්හි අභිමානවත් අනුග්‍රාහකයා වේ. ඒ සමගම ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ දැල්පන්දු තරගාවලි, අන්තර් සමාජ රග්බි, ප්‍රමඛ පෙළ රග්බි, පාසල් ක්‍රිකට්, කණිෂ්ඨ වොලිබෝල් යන තරග අංශ සමග ද පැරාලිම්පික් අංශයේදී යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල, ජාතික පැරා ක්‍රීඩා උළෙල සමගද සමීපව කටයුතු කරන අතරවාරයේ ඔලිම්පික් සහ පැරාලිම්පික් උළෙල වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම් සවිබලගැන්වීමද ඩයලොග් වෙතින් සිදුවේ.