Body

Dialog, MAS, Hemas හා CBL එකතුවෙන් ඇරඹුණු ‘මනුදම් මෙහෙවර’ හදිසි සහන සැපයීමේ වැඩසටහන සමගින් Citi බැංකුවත් එක්වෙයි

සර්වෝදය සමඟින් දැඩි ලෙස පීඩාවට පත්වූ පවුල් 200,000ක් ඉක්මවා හදිසි සහන

මැයි 23, 2022         කොළඹදී

 

Citi Joins Manudam Mehewara an Emergency Relief Initiative

ඡායාරූපයේ වමේ සිට දකුණට: සිටි බැංකුව හි ආයතනික සබඳතා අංශයේ ප්‍රධානී ශානකා වඩුගේ මහත්මිය, සිටි බැංකුව හි කළමනාකාර අධ්‍යක්ෂ හා ශ්‍රී ලංකාවේ දේශීය ප්‍රධාන නිලධාරී - රවීන් බස්නායක මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී හොන්ග් සු වොන්ග් මහතා සහ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ ව්‍යාපෘති කළමනාකාර අංශයේ අධ්‍යක්ෂ මොහොමඩ් නිස්වි මහතා.

Dialog Axiata PLC, MAS Holdings, Hemas Holdings PLC, CBL සමූහය, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය හා PwC Sri Lanka එක්ව රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් පවුල් සහ ප්‍රජාවන් වෙත හදිසි සහන බෙදාදීමේ අරමුණින් යුතුව ආරම්භ කරන ලද ‘මනුදම් මෙහෙවර’ වැඩසටහන සමඟ Citi බැංකුව ද ඉකුත්දා එක්විය.

මෙම වැඩසටහනේ බෙදාහැරීමේ සහකරු සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය හා විගණන සහකරු PwC Sri Lanka ඇතුළු මෙම ව්‍යාපෘතියෙන් සමාජීය යහපැවැත්ම අරමුණුකොටගත් හවුල්කරුවන් සමඟ අත්වැල්බැඳගනිමින් Dialog, MAS, Hemas, CBL සහ Citi බැංකුව අරමුදල් සපයන ‘මනුදම් මෙහෙවර වැඩසටහන මඟින් දිවයින පුරා පීඩාවට පත්ව සිටින ප්‍රජාවන් අතුරින් පවුල් 200,000ක් ඉක්මවා හදිසි සහන සැලසීම අරමුණු කර ඇත. මේ වන විට දිස්ත්‍රික්ක 25 පුරාම හදිසි සහන බෙදා හැරෙමින් පවතින අතර, මේ දක්වා අවශ්‍යතා සහිත පවුල් 10,000කට වැඩි සංඛ්‍යාවකට ආධාර ලබාදී තිබේ. ඵලදායී ආර්ථික ප්‍රතිසාධන සැලැස්මක් තුළින් තිරසාර ප්‍රතිලාභ හුවමාරු ක්‍රමයක් රට තුළ ස්ථාපිත වන තෙක් මනුදම් මෙහෙවර වැඩසටහන දින 60ත් 90ත් අතර කාලයක් ක්‍රියාත්මක වනු ඇත.

Citi බැංකුව හි කළමනාකාර අධ්‍යක්ෂ හා ශ්‍රී ලංකාවේ දේශීය ප්‍රධාන නිලධාරී, රවීන් බස්නායක මහතා අදහස් දක්වමින් “වර්තමානය තුළ පවතින, පෙර නොවූ විරූ මූල්‍ය අර්බුදයේ බලපෑම මුළු රටටම ඉතා දැඩි ලෙස එල්ල වී තිබෙන අතරම අන් කවරදාටත් වඩා දුෂ්කරතාවන් රාශියක් උද්ගත වී තිබෙනවා. ඉහළ යමින් පවතින ආහාර මිලත් සමඟ, දැඩි ලෙස පීඩාවට පත්වූවන් සඳහා ආහාර අධාර සැපයීම වෙනුවෙන් ‘මනුදම් මෙහෙවර’ මානූෂීය ප්‍රයත්නය සමඟ එක්වීමට Citi බැංකුව තීරණය කළේ ඒ නිසයි. ආයතනික පුරවැසියෙකු ලෙස අප අපගේ වගකීම හඳුනාගෙන තිබෙන අතර ජනතාවගේ ජීවන බර ලිහිල් කිරීම සඳහා සමාජීය යහපැවැත්ම අරමුණු කරගත් ආයතන සහයෝගයෙන් එකට එක්ව කටයුතු කලයුතු කාලය එළැඹ ඇති බවට විශ්වාස කරනවා. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම හා මෙම අත්‍යාවශ්‍ය මෙන්ම කාලෝචිත මූලාරම්භයේ කොටස්කරුවකු වීමට අපට ඉඩප්‍රස්ථාව ලබාදීම පිළිබඳ අපගේ ආයතනික හවුල්කරුවන්ට හා සර්වෝදය වෙත මා ස්තූතිය පුදකර සිටිනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

නව හවුල්කාරිත්වය පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කළ, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී හොන්ග් සු වොන්ග් මහතා “මෙම මානුෂීය මෙහෙවර හා සම්බන්ධ වීම පිළිබඳ සියලුම හවුල්කරුවන් වෙනුවෙන් මම Citi බැංකුවට ස්තූතිවන්ත වනවා. අද වන විට, වත්මන් අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින පවුල් 10,000කට අධික සංඛ්‍යාවකට අප හදිසි සහන බෙදාහැර තිබෙනවා.එම ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගනිමින් පවුල් 200,000කට සහන සැලසීම අපේ ඉලක්කයයි. මෙම ප්‍රයත්නය ඉදිරියට ගෙන යෑම සඳහා අප හා එක්වන ලෙස සමාජීය යහපැවැත්ම අරමුණු කරගත් ආයතනික හවුල්කරුවන්ගෙන් අප ඉල්ලා සිටිනවා. අපගේ ජනතාවගේ පීඩාව අවම කිරීම සඳහා සහායවීමට අප සැම එක්ව ක්‍රියා කළ යුතු අතර, මෙම අත්‍යවශයම මොහොතේදී දිවයින පුරා සිටින පවුල්වලට උපකාර කිරීමට අප වගකීමෙන් කටයුතු කළ යුතු බව මිලියන 17කට අධික ග්‍රාහකයන් සංඛ්‍යාවකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ පුළුල්තම සන්නිවේදන ජාලය ලෙස අපට අපට වැටහී ගොස් තිබෙනවා.” පවසා සිටියේය.

මෙම ප්‍රයත්නයට එක්වන ලෙසත් හදිසි සහන බෙදා හැරීමේ මෙහෙයුම් පුළුල් කිරීමට සහාය වන ලෙසත් ‘මනුදම් මෙහෙවර’ සියලු ආයතනයන්ට ආරාධනා කරයි.