Body

92 වැනි වරට පැවැත්වෙන ‘2022 සුලෝහිත සංග්‍රාමය’ ඩයලොග් බලගන්වයි

2022 ජූලි 08         කොළඹදී

 

92 වැනි වරට පැවැත්වෙන ‘2022 සුලෝහිත  සංග්‍රාමය’ ඩයලොග් බලගන්වයි

ඡායාරූපයේ වමේ සිට දකුණට : කොළඹ ආනන්ද විද්‍යාලයේ කණ්ඩායමේ නායක නෙත්ම කරුණාරත්න, ආනන්ද විද්‍යාලය වෙනුවෙන් සුලෝහිත සංග්‍රාම ඒකාබද්ධ කමිටු සභාපති බිමල් විජයසිංහ, ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන තාක්ෂණ නිලධාරී ප්‍රදීප් ද අල්මේදා, නාලන්ද විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා, නාලන්ද විද්‍යාලය වෙනුවෙන් සුලෝහිත සංග්‍රාම ඒකාබද්ධ කමිටු සභාපති වරුණ රත්නවීර, නාලන්ද විද්‍යාලයේ කණ්ඩායම් නායක දිනෙත් ෂෙහාන් සමරවීර.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෞද්ධ පිරිමි පාසල් ද්විත්වයක් වන කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය අතර, දිවංගත ආචාර්ය එන්. එම්. පෙරේරා අනුස්මරණ අභියෝග කුසලානය වෙනුවෙන් පවත්වනු ලබන ‘සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික ක්‍රිකට් තරගය එළැඹෙන ජූලි 10 හා 11 යන දෙදින කොළඹ එස්. එස්. සී. ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් නැවත වරක් බලගන්වනු ලබයි.

රටේ වත්මන් තත්වය හමුවේ සුලෝහිත සංග්‍රාම ඒකාබද්ධ තරඟ සංවිධාන කමිටුව පාසල් ද්විත්වයේ ප්‍රධානීන්ගේ මඟපෙන්වීම යටතේ මෙම තරගාවලි ඉතිහාසයේ 92වැනි තරගවාරය වන මෙවර තරගය ප්‍රේක්ෂක සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට තීරණය කර ඇත.

92 වන වරට පැවැත්වෙන ආනන්ද - නාලන්දා සුලෝහිත සංග්‍රාමය ඩයලොග් ටී.වී. නාලිකා අංක 140 ඔස්සේ සජීව විකාශය කෙරෙන අතර, Papare.Com සහ Dialog ViU App ඔස්සේ LIVE Stream කළ හැක.

මීට අමතරව පාසල් ළමුන්ගේ සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බැවින් කණ්ඩායම් ද්විත්වය හා තරඟ නිලධාරීන් සියලුම කොවිඩ් -19 සෞඛ්‍ය හා ආරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කරනු ලබයි.

මෙම වසරේ සුලෝහිත සංග්‍රාමයේදී කොළඹ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම වමත් පිතිකරු නෙත්ම කරුණාරත්න විසින් මෙහෙයවද්දී නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම වේග පන්දු යවන ක්‍රීඩක දිනෙත් ෂෙහාන් සමරවීරගේ නායකත්වය යටතේ පිටියට පිවිසෙයි.

1996 ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංග සහ ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායක දිවංගත බන්දුල වර්ණපුර වැනි ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින් බිහි කළ ඉතිහාසයක් මෙම පාසල් ද්විත්වය සතුය.

ආනන්ද විද්‍යාලය මෙම තරගාවලි ඉතිහාසයේ ජයග්‍රහණ 12ක් සමඟින් පෙරමුණේ පසුවෙන අතර නාලන්දා විද්‍යාලය තරග 6ක ජයග්‍රහණ තමන් සතු කරගෙන තිබේ.2003 වසරේදී සුලෝහිත සංග්‍රාමය ජයග්‍රහණය කළ ආනන්ද විදුහල් කණ්ඩායම ආචාර්ය එන්. එම්. පෙරේරා අනුස්මරණ අභියෝග කුසලානය මේ දක්වා තමන් සන්තකයේ රඳවා තබාගැනීමට සමත් වී තිබේ.

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, වොලිබෝල්, දැල්පන්දු සහ Esports කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලි, පාසල් රග්බි, හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.