Body

89 වැනි සාන්තුවරයන්ගේ සටන ඩයලොග් බලගන්වයි

සාන්තුවරයන්ගේ මහා ක්‍රිකට් ගැටුම අප්‍රේල් 28 සහ 29 දෙදින එස්.එස්.සී පිටියේදී

2023 අප්‍රේල් 20         කොළඹදී

 

Battle of the Blues 2023

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී - සමූහ ව්‍යාපාර මෙහෙයුම් ලසන්ත තෙවරප්පෙරුම මහතා විසින් තරගාවලියට අදාළ අනුග්‍රාහක චෙක්පත ශා.ජෝසප් විදුහලේ විදුහල්පති ගරු රංජිත් අන්ද්‍රාදි පියතුමා සහ ශා.පීතර විදුහලේ විදුහල්පති ගරු රෝහිත රොද්‍රිගු පියතුමා වෙත පිරිනැමූ අවස්ථාව.

ඡායාරූපයේ වමේ සිට දකුණට : ශා.ජෝසප් විදුහලේ කණ්ඩායම් නායක සදේෂ් ජයවර්ධන, ශා.ජෝසප් විදුහලේ ක්‍රීඩාභාර ආචාර්ය ගරු ප්‍රියාන් තිසේරා පියතුමා, ශා.ජෝසප් විදුහල නියෝජනය කරන ඒකාබද්ධ තරග සංවිධාන කමිටුවේ සම සභාපති ටෙරන්ස් ප්‍රනාන්දු මහතා, ශා. පීතර විදුහල නියෝජනය කරන ඒකාබද්ධ තරග සංවිධාන කමිටුවේ සම සභාපති මයිකල් ඉලායස්, ශා. පීතර විදුහලේ ක්‍රීඩා සම්බන්ධීකාරක ගරු මිලාන් බර්නාඩ් පියතුමා, ශා. පීතර විදුහලේ කණ්ඩායම් නායක නිමුතු ගුණවර්ධන.

මෙරට පාසල් මහා ක්‍රිකට් තරගාවලි අතර වඩාත්ම තරගකාරී ගැටුම් අතරින් මුල් තැනක් ගන්නා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කතෝලික බාලක පාසල් දෙකක් වන මරදාන ශා. ජෝසප් විදුහල හා බම්බලපිටිය ශා. පීතර විදුහල අතර ‘මෝරිස් ජේ.ලෙගෝ පියතුමන් අනුස්මරණ කුසලානය’ වෙනුවෙන් පැවැත්වෙන, ඩයලොග් බලගන්වන ‘89 වැනි සාන්තුවරයන්ගේ සටන’ 2023 අප්‍රේල් 28 සහ 29 දෙදින කොළඹ එස්.එස්.සී පිටියේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතය.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන්, ක්‍රීඩකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව සලකා ඉකුත් වසර දෙකක කාලයේදී මෙම මහ සටන ප්‍රෙක්ෂක සහභාගීත්වයෙන් තොරව පැවැත්වීමට යෙදුණු නමුත්, කොවිඩ් -19 සීමාකිරීම් ලිහිල්වීමත් සමග සාන්තුවරයන්ගේ සටනේ ඒකාබද්ධ තරග සංවිධාන කමිටුව, විදුහල් දෙකේ ප්‍රධාන පියතුමන්ලාගේ අනුශාසකත්වය යටතේ, සිසුන්, ආදි සිසුන් සහ ක්‍රීඩා ලෝලීන් ඇතුළුව පූර්ණ ප්‍රෙක්ෂක සහභාගීත්වයෙන් පැවැත්වීමට තීරණය කරන ලදී.

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම මෙම තරග සජීවීව ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 70 ඔස්සේ විකාශනය කිරීමටත්, Thepapare.com සහ Dialog ViU App ඔස්සේ සජීවීව stream කිරීමටත් අවස්ථාව සලසාදෙයි.

මෙරට පාසල් මහා ක්‍රිකට් තරග අතර විශේෂ ආවේණික බවක් සහිත ' සාන්තුවරයන්ගේ සටන' වැඩි උද්‍යෝගයක් සහ විසඳුමක් සහිත තරග අවසානයක් කරා රැගෙන යෑම පිණිස දෙපිළේම පළමු ඉනිම පන්දුවාර 60කට සීමාවන අතර, එවැනි උපායමාර්ගික සීමාකිරීමක් සහිත මෙරට එකම දෙදින වාර්ෂික ක්‍රිකට් ගැටුම මෙය වේ. 2023 සාන්තුවරයන්ගේ සටන සඳහා ශා. ජෝසප් විදුහල මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරනු ලබන කඩුලු රකින්නකු සහ පිතිකරුවකු වන සදේෂ් ජයවර්ධනට පැවරී තිබෙන අතර, තුන් ඉරියව් පිතිකරුවකු වන නිමුතු ගුණවර්ධන විසින් ශා. පීතර කණ්ඩායම මෙහෙවනු ඇත.

“ශා. ජෝසප්-ශා. පීතර මහා ක්‍රිකට් තරග වාරයේ 89 වැනි අදියර, යළි පෙර සේම අපූර්වත්වයෙන් පැවැත්වීමට හැකියාව ලැබී තිබීම ගැන මම සතුටුවනවා.” යි මෙවර සත්කාරක පාසල වන බම්බලපිටිය ශා. පීතර විදුහලේ විදුහල්පති රෝහිත රොද්‍රිගූ පියතුමන් පැවසීය. “එසේම හොඳ කාලවලදී මෙන්ම අභියෝත්මක අවස්ථාවන්හිදීද අපත් සමග දීර්ඝ කාලයක් තිස්සේ රැඳෙමින්, ශක්තියක් වූ ඩයලොග් ආසිආටා සමාගමට ස්තුති කරන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා.”යි එතුමන් වැඩි දුරටත් පවසා සිටියේය.

ශා. ජෝසප් විදුහලේ විදුහල්පති ගරු රංජිත් අන්ද්‍රාදි පියතුමන් සිය අදහස් දක්වමින් පවසා සිටියේ දිවයිනේ ප්‍රමුඛතම කතෝලික පාසල් දෙකක් වන ශා.ජෝසප් සහ ශා.පීතර විදුහල අතර පැවත්වෙන 'සාන්තුවරයන්ගේ සටන' දිගු ඉතිහාසයකට හිමිකම් කියන තරගාවලියක් බවයි. පාසල් දෙකෙහිම නවක සිසුන්ට මෙන්ම ආදි සිසුන්ට ආස්වාදජනක අත්දැකීමක් ගෙන ඒමට මෙම දෙවිදුහල් හි කණ්ඩායම් දෙකම උත්සාහ ගනු ඇතැයි තමා විශ්වාස කරන බවද පියතුමා සඳහන් කළේය. මේ දින දෙක පුරාම උද්‍යෝගයෙන් පිරි තරග අත්දැකීමක් ක්‍රීඩා ලෝලීන්ට ලබාදීමට පාසල් දෙකෙහි කණ්ඩායම් හා එහි නායකයන්ට හැකිවේවා යැයි සුබ පැතුම් එක් කරන බව ගරු අන්ද්‍රාදි පියතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

ශා.ජෝසප් විද්‍යාලය ජයග්‍රහණ 12ක් සමඟින් මෙම තරගාවලි ඉතිහාසයේ පෙරමුණේ පසුවන අතර ඔවුන්ගේ අවසන් ජය වාර්තා වී තිබෙන්නේ 2008 වසරේදී රුවන්ත ප්‍රනාන්දුපුල්ලේගේ නායකත්වය යටතේය. 2016 දී විනූ මොහොට්ටිගේ නායකත්වය යටතේ 10 වැනි ජයග්‍රහණය වාර්තා කළ ශා. පීතර විදුහල මේ දක්වාම මෝරිස් ජේ.ලෙගෝ පියතුමන්’ අනුස්මරණ කුසලානය තමන් සන්තකයේ රඳවා තබාගන්නට සමත්ව සිටීයි.

මෙරට පාසල් ඉතිහාසයේ පළමු සීමිත පන්දුවාර මහා ක්‍රිකට් තරගය ලෙසින් 1975 වසරේදී ආරම්භ වූ පීටර්. ඒ. පිල්ලේ පියතුමන්’ අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ‘ජොසප් -පීතර’ පන්දුවාර 50 ක්‍රිකට් තරගය සැමවිටම පාසල් එක්දින තරගයක් සඳහා ආකර්ෂණය වූ ඉහළම ප්‍රේක්ෂක සංඛ්‍යාවට හිමිකම් කියා ඇති අතර, 2023 අප්‍රේල් 30 වැනිදා කොළඹ එස්.එස්.සී පිටියේදීම එම තරගය පැවැත්වීමට නියමිතය. තරග 2ක් විසඳුමකින් තොරව සහ එක් තරගයක් සම ලකුණු සහිතව අවසන් වී තිබේ. ජොසප් - පීතර එක් සීමිත පන්දුවාර තරග ඉතිහාසයේ ජයග්‍රහණ 24-21ක් ලෙස පෙරමුණේ පසුවන්නේ ජෝසප් කණ්ඩායමයි. පසුගිය වසරේදී තියුණු සටනකින් පසු එක්දින සටනේ ජය වාර්තා කිරීමට ශා.ජෝසප් කණ්ඩායමට හැකිවිය.

මෙම පාසල් ද්විත්වය බොහෝ ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට දායාද කර තිබේ. වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, චමින්ද වාස්, තිසර පෙරේරා, ඈෂ්ලි ද සිල්වා, මයිකල් වැන්ඩොට්, රොෂේන් සිල්වා, ප්‍රියමාල් පෙරේරා හා සධීර සමරවික්‍රම ශ්‍රී ලංකාව නියෝජනය කළ ආදි ජෝසප් ක්‍රීඩකයන් වන අතර රෝයි ඩයස්, රුමේෂ් රත්නායක, විනෝදන් ජෝන්, අමල් සිල්වා, රසල් ආර්නෝල්ඩ්, කෞෂාල් ලොකුආරච්චි, මලින්ද වර්ණපුර හා ඇන්ජලෝ පෙරේරා ජාතික කණ්ඩායම නියෝජනය කළ ආදි පීතර ක්‍රීඩකයන් වේ.

2023 වසර සඳහා වන තරග අදියර සඳහා ජනත ස්ටීල් ආයතනය ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත්ව සිටීයි. ඊට අමතරව Keells Krest, Elephant house, CBL, Maggie, Daraz, HNB, Uber සහ Singer Sri Lanka යන ආයතන සහ සමාගම්ද මෙම තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වයෙන් දායක වෙයි. වර්තමානයේ ශා. ජෝසප් කණ්ඩායම වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් පළමු කාණ්ඩයේ A කොටසේ සම ශූරයන් ද වේ.

ඩයලොග් ආසිආටා ජාතික දැල්පන්දු, වොලිබෝල් සහ Esports කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ දැල් පන්දු තරගාවලි, පාසල් රග්බි, හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය,ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.