Body

88 වැනි ‘සාන්තුවරයන්ගේ සටන’ ඩයලොග් බලගන්වයි

ජූලි 11, 2022         කොළඹදී

 

88th Battle of the Saints Powered by Dialog

(ජායාරූපයේ වමේ සිට දකුණට): මරදාන ශා. ජෝසප් විද්‍යාලයේ විදුහල්පති ගරු රන්ජිත් අන්ද්‍රාදි පියතුමා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ප්‍රධාන උපදේශක / උප සභාපති - සමූහ නීති සහ නියාමන ට්‍රිනේෂ් ප්‍රනාන්දු මහතා සහ බම්බලපිටිය ශා. පීතර විද්‍යාලයේ විදුහල්පති ගරු රෝහිත රොද්‍රිගූ පියතුමන්.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කතෝලික පාසල් ද්විත්වයක් වන මරදාන ශා.ජොසප් විද්‍යාලය හා බම්බලපිටිය ශා. පීතර විද්‍යාලය අතර පැවැත්වෙන, මෙරට පාසල් මහා ක්‍රිකට් තරග දින දර්ශනයේ වඩාත්ම තරගකාරී ක්‍රිකට් ගැටුමක් වන ‘සාන්තුවරයන්ගේ සටනේ’ 88 වැනි තරග අදියර පැවැත්වීමට කටයුතු සකස් වෙමින් පවතී. ඒ අනුව ‘මෝරිස් ජේ.ලෙගෝ පියතුමන් අනුස්මරණ කුසලානය’ වෙනුවෙන් පැවැත්වෙන එම තරගය එළැඹෙන ජූලි 14 හා 15 යන දෙදින කොළඹ, පී. සරා ඕවල් පිටියේදී පැවැත්වීමට නියමිතය.

පෙර නොවු විරූ අයුරින් රට තුළ පීඩාකාරී තත්ත්වයක් උද්ගත වී තිබීමත් සමග ‘සාන්තුවරයන්ගේ සටනේ’ 88 වැනි තරග අදියර ප්‍රේක්ෂක සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට තීරණය කර ඇත.

‘සාන්තුවරයන්ගේ සටන’ මහා ක්‍රිකට් තරගය හා ‘ජොසප් -පීතර’ එක්දින තරගය ප්‍රේක්ෂක සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට කටයුතු යොදා තිබුණද එම තරග ඩයලොග් ටී.වී.නාලිකා අංක 140 ඔස්සේ, ThePapare.com හා Dialog ViU App ඔස්සේ සජීව විකාශය කෙරේ.

තරගය පැවැත්වෙන දෙදින තුළ ප්‍රතිඵල දිශානතියක් ඇති කිරීම සඳහා පළමු ඉනිම පන්දුවාර 60කට සීමා කර තිබීමත් සමග සාන්තුවරයන්ගේ සටන තරඟකාරී ස්වභාවය වෙනුවෙන් ප්‍රචලිත වී තිබේ. මෙවර තරගයේදී ශා. ජොසප් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක ෂෙවෝන් ඩැනියෙල්ට පැවැරී තිබෙන අතර, ශා. පීතර කණ්ඩායම තුන් ඉරියව් ක්‍රීඩක වනුජ කුමාරගේ නායකත්වය යටතේ පිටියට පිවිසෙයි. මෙම ක්‍රීඩකයින් දෙදෙනාම 2021 වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනෙකි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව සොයාගැනීමක් හා පසුගියවර සාන්තුවරයන්ගේ සටනේදී ශා. ජොසප් කණ්ඩායම මෙහෙයවීමේ වගකීමද පැවැරී තිබූ දක්ෂ වමත් දඟ පන්දු යවන්නෙකු වන දුනිත් වෙල්ලාලගේ සිය අවසන් පාසල් ක්‍රිකට් වාරය වෙනුවෙන් මෙවර තරග බිමට පිවිසීම කැපී පෙනෙන අතර, එම සිදුවීම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ දිවියේ ඉතා දුර්ලබ අවස්ථාවකි. මීට පෙර 1996 ලෝක කුසලාන දිනූ නායක අර්ජුණ රණතුංග, ශා.පීතර කණ්ඩායම නියෝජනය කළ රුමේෂ් රත්නායක ඇතුළු තවත් ක්‍රීඩකයන් රැසක් සිය රට හා පාසල එකවර නියෝජනය කිරීමේ ගෞරවයට පාත්‍ර වී තිබේ.

ශා. ජොසප් විද්‍යාලය ජයග්‍රහණ 12ක් සමඟින් මෙම තරගාවලි ඉතිහාසයේ පෙරමුණේ පසුවන අතර ඔවුන්ගේ අවසන් ජයග්‍රහණය වාර්තා වී තිබෙන්නේ 2008 වසරේදී රුවන්ත ප්‍රනාන්දුපුල්ලේගේ නායකත්වය යටතේය. ශා. පීතර විදුහල 2016 වසරේදී විනූ මොහොට්ටිගේ නායකත්වය යටතේ පාසල් ද්විත්වය අතර තරගාවලි ඉතිහාසයේ 10 වැනි ජයග්‍රහණය වාර්තා කළ අතර, මේ දක්වාම ‘මෝරිස් ජේ. ලෙගෝ පියතුමන් අනුස්මරණ කුසලානය’තමන් සන්තකයේ රඳවා තබාගන්නට සමත් වී තිබේ.

‘පීටර් ඒ. පිල්ලේ පියතුමන් අනුස්මරණ කුසලානය’ වෙනුවෙන් පැවැත්වෙන ශා. ජෝසප් සහ ශා.පීතර දෙවිදුහල් අතර පන්දුවාර 50 ක්‍රිකට් තරගය(1975 දී ආරම්භ වූ) සැමවිටම පාසල් එක්දින තරගයක් සඳහා ආකර්ෂණය වූ ඉහළම ප්‍රේක්ෂක සංඛ්‍යාවට හිමිකම් කියා ඇති අතර, දෙදින තරගයෙන් පසුව, එනම් 2022 ජුලි මස 19 වෙනි අඟහරුවාදා එම තරගය පී. සරා ඕවල් පිටියේදීම පැවැත්වීමට නියමිතය. තරග 2ක් විසදුමකින් තොරව අවසන් වී ඇති එම තරග ඉතිහාසයේ ජයග්‍රහණ 24-20ක් ලෙස පෙරමුණේ පසුවෙන ශා. ජෝසප් කණ්ඩායම පසුගිය වර්ෂ තුනේදීම අඛණ්ඩව ජයග්‍රහණ වාර්තා කර තිබේ.

මෙම පාසල් ද්විත්වය බොහෝ ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට දායාද කර තිබේ. වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, චමින්ද වාස්, තිසර පෙරේරා, ඈෂ්ලි ද සිල්වා, මයිකල් වැන්ඩොට්, රොෂේන් සිල්වා, ප්‍රියමාල් පෙරේරා හා සධීර සමරවික්‍රම ශ්‍රී ලංකාව නියෝජනය කළ ආදි ජෝසප් ක්‍රීඩකයන් වන අතර රෝයි ඩයස්, රුමේෂ් රත්නායක, විනෝදන් ජෝන්, අමල් සිල්වා, රසල් ආර්නෝල්ඩ්, කෞෂාල් ලොකුආරච්චි, මලින්ද වර්ණපුර හා ඇන්ජලෝ පෙරේරා ජාතික කණ්ඩායම නියෝජනය කළ ආදි ශා. පීතර ක්‍රීඩකයන් වේ.

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, වොලිබෝල්, දැල්පන්දු සහ Esports කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලි, පාසල් රග්බි, හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.