Body

ඩයලොග් විසින් 144 වැනි නිල් මහා සටන බලගන්වයි

දෙවසරකට පසු රාජකීය-ශාන්ත තෝමස් ක්‍රිකට් සටන නැරඹීමට ප්‍රෙක්ෂකයන්ට අවස්ථාව

2023 මාර්තු 03         කොළඹදී

 

Battle of the Blues 2023

ඡායාරූපයේ වමේ සිට දකුණට: ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලයේ නායක රොමේෂ් මෙන්ඩිස්, රාජකීය - ශා. තෝමස් ඒකාබද්ධ තරග සංවිධාන කමිටුවේ සම සභාපති කුමුදු වර්ණකුලසූරිය,ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලයේ විද්‍යාලයාධිපති ගරු මාර්ක් බිලිමෝරියා පියතුමා, ඩයලොග් ආසිආටා පීල්සී සමාගමට අනුබද්ධ ඩයලොග් එන්ටර්ප්‍රයිස් හි සමූහ ප්‍රධාන නිලධාරී නවීන් පීරිස්, කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති ආර්.එම්.එම් රත්නායක, රාජකීය - ශා. තෝමස් ඒකාබද්ධ තරග සංවිධාන කමිටුවේ සම සභාපති එම්. රෙහාන් ගුණසේකර, කොළඹ රාජකීය විදුහලේ කණ්ඩායම් නායක දාසිස් මංචනායක.

මෙරට ප්‍රසිද්ධ ඉසව් සඳහා බලපැවැත්වූ කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ සීමා ඉවත්වීමත් සමග, ශ්‍රී ලංකාවේ දීර්ඝතම ඉතිහාසයක් සහිත මහා ක්‍රිකට් සංග්‍රාමය වන කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර දිවංගත ගරු ඩී.එස්. සේනානායක අනුමස්රණ පළිහ වෙනුවෙන් අඛණ්ඩව 144 වැනි වරට පැවැත්වෙන නිල් මහා සටන මාර්තු 16 සිට 18 වැනිදා දක්වා කොළඹ 07, එස්.එස්.සී පිටියේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගම මෙම සුවිශේෂී තරගාවලියට අනුග්‍රාහකත්වය දක්වන 18වැනි අවස්ථාව මෙයයි.

කොවිඩ් ගෝලීය වසංගත තත්වය හේතුවෙන්, ක්‍රීඩකයන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව සලකා බලා, ඉකුත් දෙවසරක කාලය තුළ නිල් මහා සටන ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව සංවිධානවුවත්, කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ සීමා ලිහිල්වීමත් සමග, රාජකීය- ශාන්ත තෝමස් ඒකාබද්ධ තරග සංවිධාන කමිටුව විසින් දෙවිදුහලේ ප්‍රධානීන්ගේ උපදෙස් මත දෙවිදුහල් සිසුන්, ආදි සිසුන් සහ ක්‍රීඩා ලෝලීන්ද සමඟින් පූර්ණ ප්‍රෙක්ෂක සහභාගීත්වයෙන් යුතුව පැවැත්වීමට තීරණය කර ඇත.

144 වැනි නිල් මහා සටන සුපුරුදු පිරිදි Dialog Television නාලිකා අංක 22, ThePapare.com සහ Dialog ‘Viu’ app ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ. විදුහල් දෙක අතර ‘Mustangs කුසලානය’ වෙනුවෙන් පැවැත්වෙන සාම්ප්‍රදායික එක්දින තරගය නිල් මහා සටනට පසුව එළඹෙන සිකුරාදා දිනයේ පැවැත්වීමට නියමිතය.

මෙම තරගයේදී රැස් කරන සෑම ලකුණකටම රු.1000ක මුදලක් හා බිඳ වැටෙන සෑම කඩුල්ලක් සඳහාම රුපියල් 10,000ක මුදලක් ලබාදීමට ඩයලොග් ආසිආටා සමාගම ප්‍රතිඥාවක් ලබාදී ඇත.පසුගිය වසරේ 834,000ක මුදලක් ‘Play for a Cause’ වෙනුවෙන් පිරිනමන ලදී. එම එම මූල්‍ය ප්‍රදානය කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිතුමන් සහ ශා. තෝමස් විදුහලේ විද්‍යාලාධිපතිතුමන්ගේ උපදෙස් අනුව උපකාර අවශ්‍ය පාසල් සදහා ලබාදීමට කටයුතු කරන ලදී.

මෙම වසරේ තරගයදී ගල්කිස්ස ශා. තෝමස් කණ්ඩායම කඩුළු රකින ක්‍රීඩක රොමේෂ් මෙන්ඩිස් විසින් මෙහෙයවද්දී, තුන් ඉරියව් ක්‍රීඩක දාසිස් මංචනායක කොළඹ රාජකීය කණ්ඩායමට නායකත්වය ලබාදෙයි.

රාජකීය-ශා. තෝමස් මහා ක්‍රිකට් තරගය වසර 143ක් පුරා විහිදුණු වර්ණවත් ඉතිහාසයකට හිමිකම් කියයි. එය ලොව දෙවැනි දීර්ඝතම කාලයක් අඛණ්ඩව පැවැති ක්‍රිකට් තරගාවලිය වන අතර එය දෙවැනි වන්නේ ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හී St. Peters විදුහල හා Prince Alfred විදුහල අතර වාර්ෂික ක්‍රිකට් තරගයට පමණි. එය ඇරඹී ඇත්තේ රාජකීය-ශා. තෝමස් තරගය ඇරඹීමට වසරකට මත්තෙනි. 1882 දී එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර අළුබඳුන කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹෙන්නේ රාජකීය-ශා. තෝමස් වාර්ෂික මහ තරග ඇරඹුමෙන් දෙවසරකට පසුය.

ක්‍රීඩකයන් පමණක් සහභාගි වූ ‘නිල් මහා සටනේ’ පළමු තරගය 1880 වසරේදී ගාලු මුවදොර පිටියේදී පැවැත්විණි. එය මේ වන විට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය පිහිටි ස්ථානයයි. එය සියවස් තරගාවලියේ ආරම්භයද සනිටුහන් කරන ලදී. මෙම තරගයට ක්‍රීඩා කිරීම සඳහා කණ්ඩායම් දෙකටම බෝට්ටු යොදාගෙන බේරේ වැව තරණය කිරීමට සිදුවූ බවද වාර්තා වේ.

රාජකීය-ශා. තෝමස් මහ තරගයේදී බිහිවූ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පසුකලෙක මේ රට පාලනය කිරීමට වරම් ලැබූවෝද වූහ.ජාතියේ පියා යන විරුදාවලිය ලත් මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිතුමන් (1901-1902), ඔහුගේ පුත් දිවංගත ඩඩ්ලි සේනානායක මැතිතුමන් (1927-1929) යන හිටපු අගමැතිවරුන් ශා. තෝමස් විදුහල නියෝජනය කරමින්ද, හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමන් (1914-1915) මෙන්ම ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් (1925) රාජකීය විදුහල නියෝජනය කරමින් අදාළ වසරවලදී මෙම ඓතිහාසික මහා සටනට ක්‍රීඩා කළහ.

මහත් විවාදයකට ලක්වූ 1885 තරගය සමගින් නිල් මහා සටන් ඉතිහාසයේ මේ දක්වා කණ්ඩායම් දෙකම ජයග්‍රහණ 35 බැගින් වාර්තා කර ඇත. පළමු දිනයේ රාජකීය විදුහල ලකුණු 09කට සියලුදෙනා දැවීගොස්, දෙවැනි දිනයේ ක්‍රීඩාකිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමග අදාළ 1885 තරගය තමන් ජයගත් තරගයක් ලෙසින් ශා. තෝමස් විදුහලේ සමරු අතර සටහන් වෙද්දී එය ජය පැරදුමෙන් තොර තරගයක් ලෙස රාජකීය විදුහලේ සමරු සටහන්වල දැක්වේ. අවසන් වරට නිල් මහා සටනක් ජයගනිමින් මේ වන විට අදාළ කුසලාන ශා.තෝමස් විදුහල සතුව පවතින අතර, වර්ෂ 2019දී සිතාර හපුහින්න ගේ නායකත්වයෙන් සුපිරි දස්කම් දක්වමින් ශා.තෝමස් පිළ හිමිකර ගත් එම කුසලාන තමන් සන්තකයට ගැනීම පිණිස, රාජකීය පිල සැරසී සිටියි. රාජකීය පිල අවසන් වරට නිල් මහා සටනක් ජයගෙන ඇත්තේ ගීශාන්ත් පණ්ඩිතරත්නගේ නායකත්වය යටතේ 2016 වසරේදීය.

විශිෂ්ටත්වයෙන් ඉහළම සම්ප්‍රදායකට අනුව පැවැත්වෙන මෙම තරගයේදී දෙවිදුහල් අතර අන්‍යෝන්‍ය ගෞරවය, සුහදත්වය, ක්‍රීඩාශීලීත්වය, පිටියේ මෙන්ම පිටියෙන් එපිට මිත්‍රශීලී ප්‍රතිවාදීන් ලෙසින් වූ බැඳීමක් සියවස් එකහමාරකට අධික කාලයක සිට පැවත එයි. වරක්, රාජකීය විදුහලේ හිටපු විදුහල්පතිවරයෙක් පැවසූ පරිදි ‘ශාන්ත තෝමස් විදුහලක් නොමැතිව රාජකීය විදුහලක් නොමැත, රාජකීය විදුහලක් නොමැතිව ශාන්ත තෝමස් විදුහලක් නොමැත’ යන ප්‍රකාශයෙන් එය මනාව පිළිබිඹු වෙයි.

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, දැල්පන්දු, වොලිබෝල් සහ Esports කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ දැල් පන්දු තරගාවලි, පාසල් රග්බි, හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය,ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය,ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.