Body

143 වැනි ‘නිල් මහා සටන’ ඩයලොග් විසින් බලගන්වයි

July 18, 2022         Colombo

 

143rd Battle of the Blues Powered by Dialog

ඡායාරූපයේ වමේ සිට දකුණට: කොළඹ රාජකීය විද්‍යාලයේ කණ්ඩායම් නායක ගිෂාන් බාලසූරිය, රාජකීය - ශා. තෝමස් ඒකාබද්ධ තරග සංවිධාන කමිටුවේ සම ලේකම් අර්ජුණ වෛද්‍යසේකර, කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති සනත් ජයලත්, ඩයලොග් එන්ටප්‍රයිස් හි සමූහ ප්‍රධාන නිලධාරී නවීන් පීරිස්, ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලයේ විදුහල්පති ගරු මාර්ක් බිලිමෝරියා පියතුමා, රාජකීය - ශා.තෝමස් ඒකාබද්ධ තරග සංවිධාන කමිටුවේ සම සභාපති රොෂාන් ඇඩම්, ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලයේ කණ්ඩායම් නායක රයන් ප්‍රනාන්දු.

ශ්‍රී ලංකාවේ දීර්ඝතම ඉතිහාසයක් සහිත ක්‍රිකට් තරගාවලිය වන, කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශා. තෝමස් යන ප්‍රමුඛ පිරිමි පාසල් ද්විත්වය අතර මහාමාන්‍ය ඩී.එස්. සේනානායක අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ‘නිල් මහා සටන’, 143 වැනි වරටත් 2022 ජුලි මස 21 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

කෝවිඩ්-19 වසංගත තත්ත්වය සහ වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් රාජකීය-තෝමස් ඒකාබද්ධ තරග සංවිධාන කමිටුව පාසල් ද්විත්වයේ ප්‍රධානීන්ගේ මඟපෙන්වීම යටතේ මෙම තරගාවලි ඉතිහාසයේ 143 වැනි තරගවාරය වන මෙවර තරගය ප්‍රේක්ෂක සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට තීරණය කර ඇති අතර, අදාළ පාසල්වල ක්‍රීඩකයන් රැඳී සිටින ක්‍රීඩක කුටිවලට පමණක් පරිශ්‍රය තුළ අවසර හිමිවී තිබේ. 143 වැනි ‘නිල් මහා සටන’ ඩයලොග් ටී.වී.නාලිකා අංක 140 ඔස්සේ, ThePapare.com හා Dialog ViU app තුළින් සජීව විකාශය කෙරේ. ‘Mustangs කුසලාන’ වෙනුවෙන් පැවැත්වෙන සීමිත පන්දුවාර තරගය, මහා ක්‍රිකට් තරගයෙන් පසු එළැඹෙන සෙනසුරාදා පැවැත්වීමට නියමිතය./p>

ඩයලොග් සමාගම රාජකීය-තෝමස් 140 වැනි තරගවාරයේදී දිගු හා සාර්ථක හවුල්කාරිත්වයක් ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කළ අතර 143 වැනි ‘නිල් මහා සටන’ සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගම අනුග්‍රාහකත්වය දක්වන 14 වැනි අවස්ථාව මෙයයි. මෙම තරගයේදී රැස් කරන සෑම ලකුණකටම රු.1000ක මුදලක් හා බිඳ වැටෙන සෑම කඩුල්ලක් සඳහාම රුපියල් 10,000ක මුදලක් ලබාදීමට ඩයලොග් ආසිආටා සමාගම ප්‍රතිඥාවක් ලබාදී ඇත. පසුගිය වසරේ මහා තරගයෙන් රුපියල් 383,000ක දායකත්වයක් ‘Play for a Cause’ වෙනුවෙන් සටහන් විය. එම ප්‍රදානයන් කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිතුමන් හා ගල්කිස්ස ශා. තෝමස් විදුහලේ විද්‍යාලාධිපතිතුමන්ගේ උපදෙස් අනුව සහාය හා බලගැන්වීම අවශ්‍ය පාසල් සඳහා බෙදාදීම සිදු කෙරිණි.

සංවිධායක කමිටුවේ සම සභාපති රොෂාන් ඇඩම්ස් මහතා අදහස් දක්වමින් “රටතුළ පවතින වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් Play for a Cause වැඩසටහන පුළුල් කරන ලෙස විද්‍යාල දෙකේ ප්‍රධානීන් රාජකීය-තෝමස් ඒකාබද්ධ තරග සංවිධායක කමිටුවට උපදෙස් ලබාදී තිබේ. එතෙර සිටින රාජකීය-තෝමස් ප්‍රජාවගේ සහාය ඇතිව තවත් අවශ්‍යතා සහිත බොහෝ පාසල් සඳහා හැකි තරම් උදව් කිරීමට අපට අවශ්‍යයි.” යැයි පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් බලගන්වනු ලබන 143 වැනි ‘නිල් මහා සටනේදී’ ගල්කිස්ස ශා. තෝමස් කණ්ඩායම තුන් ඉරියව් ක්‍රීඩක රයන් ප්‍රනාන්දු විසින් මෙහෙයවන අතර, වමත් දඟපන්දු යවන්නෙකු වන ගිෂාන් බාලසූරිය විසින් රාජකීය විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබයි.

රාජකීය - ශා. තෝමස් ‘නිල් මහා සටන’ වසර 143 ක පොහොසත් සහ විචිත්‍රවත් අතීතයක් සහිත තරගයකි. එමෙන්ම මෙය ලොව අඛණ්ඩව පැවැත්වෙන ක්‍රිකට් තරග අතරින් දෙවන දීර්ඝතම ඉතිහාසයකට හිමිකම් කියන අතර, එය දෙවනි වන්නේ ඉන් වසරකට පෙර ආරම්භ කරන ලද ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි ශා. පීතර විදුහල සහ ඇඩිලේඩ් ඇල්ෆ්‍රඩ් කුමර විදුහල අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයට සහ ඉන් වසර දෙකකට පෙර ආරම්භ කරන ලද ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන තරගාවලියට පමණි.

ක්‍රීඩකයන් පමණක් සහභාගි වූ ‘නිල් මහා සටනේ’ පළමු තරගය 1880 වසරේදී ගාලු මුවදොර පිටියේදී පැවැත්විණි. එය මේ වන විට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය පිහිටි ස්ථානයයි. එය සියවස් තරගාවලියේ ආරම්භයද සනිටුහන් කරන ලදී. මෙම තරගයට ක්‍රීඩා කිරීම සඳහා කණ්ඩායම් දෙකටම බෝට්ටු යොදාගෙන බේරේ වැව තරණය කිරීමට සිදුවූ බවද වාර්තා වේ.

රාජකීය-ශා. තෝමස් මහ තරගයේදී බිහිවූ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පසුකලෙක මේ රට පාලනය කිරීමට වරම් ලැබූවෝද වූහ.ජාතියේ පියා යන විරුදාවලිය ලත් මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිතුමන් (1901-1902), ඔහුගේ පුත් දිවංගත ඩඩ්ලි සේනානායක මැතිතුමන් (1927-1929) යන හිටපු අගමැතිවරුන් ශා. තෝමස් විදුහල නියෝජනය කරමින්ද, හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමන් (1914-1915) මෙන්ම ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් (1925) රාජකීය විදුහල නියෝජනය කරමින් අදාළ වසරවලදී මෙම ඓතිහාසික මහා සටනට ක්‍රීඩා කළහ.

මහත් විවාදයකට ලක්වූ 1885 තරගය සමගින් නිල් මහා සටන් ඉතිහාසයේ මේ දක්වා කණ්ඩායම් දෙකම ජයග්‍රහණ 35 බැගින් වාර්තා කර ඇත. පළමු දිනයේ රාජකීය විදුහල ලකුණු 09කට සියලුදෙනා දැවීගොස් , දෙවැනි දිනයේ ක්‍රීඩාකිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමග අදාළ 1885 තරගය තමන් ජයගත් තරගයක් ලෙසින් ශා. තෝමස් විදුහලේ සමරු අතර සටහන්වද්දී එය ජය පැරදුමෙන් තොර තරගයක් ලෙස රාජකීය විදුහලේ සමරු සටහන්වල දැක්වේ. අවසන්වරට නිල් මහා සටනක් ජයගනිමින් මේ වන විට අදාළ කුසලානය ශා. තෝමස් විදුහල සතුව පවතින අතර වර්ෂ 2019දී සිතාර හපුහින්නගේ නායකත්වයෙන් සුපිරි දස්කම් දක්වමින් ශා. තෝමස් පිළ හිමිකරගත් එම කුසලානය තමන් සන්තකයට ගැනීම පිණිස, කෝවිඩ්-19 බලපෑමට ලක්වූ තරග දින දර්ශනය තුළ කැපී පෙනෙන ජයග්‍රහණ වාර්තා කළ රාජකීය පිල සැරසී සිටියි. රාජකීය පිළ අවසන්වරට නිල් මහා සටනක් ජයගෙන ඇත්තේ ගීශාන්ත් පණ්ඩිතරත්නගේ නායකත්වය යටතේ 2016 වසරේදීය.

විශිෂ්ටත්වයේ ඉහළම සම්ප්‍රදායට අනුව පැවැත්වෙන මේ තරගයට දායක වන දෙපිළෙහි සාමාජිකයන් ශතවර්ෂ එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ අන්‍යෝන්‍ය ගෞරවයෙන්, සුහදත්වයෙන්, ක්‍රීඩාශීලීත්වයෙන් මිත්‍රශීලී ප්‍රතිවාදීන් ලෙස පිටිය තුළත් ඉන් පිටතත් දැඩි එකමුතුකමින් යුතුව කටයුතු කරති. මෙම තරගය පිළිබඳව දශක කිහිපයකට පෙර රාජකීය විදුහලේ හිටපු කීර්තිමත් විදුහල්පතිවරයෙකු අපූරු ප්‍රකාශයක් සිදුකර තිබිණි. ඒ, ශාන්ත තෝමස් විදුහල නොමැතිව රාජකීය විද්‍යාලයක් සහ රාජකීය විද්‍යාලය නොමැතිව ශාන්ත තෝමස් විදුහලක් පැවතිය නොහැකි බවයි.

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, වොලිබෝල්, දැල්පන්දු සහ Esports කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ දැල් පන්දු තරගාවලි, පාසල් රග්බි, හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.