Body

142 වැනි නිල් මහ සටන ඩයලොග් විසින් බලගැන්වෙයි

රමණීය සූරියවැව ක්‍රීඩාංගනයේදී මැයි 6 සිට 8 වැනිදා දක්වා

අප්‍රේල් 23, 2021        කොළඹ

 

my doc

ඡායාරූපයේ වමේ සිට දකුණට: රාජකීය - ශා. තෝමස් ඒකාබද්ධ තරග කමිටුවේ සම සභාපති ප්‍රසන්න ප්‍රනාන්දු, රාජකීය විද්‍යාලයේ වැඩ බලන විදුහල්පති වී.එම්.එස්. ගුණතිලක, ශා.තෝමස් විද්‍යාලයේ විදුහල් පාලක ගරු මාර්ක් බිලිමෝරියා පියතුමා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ පාරිභෝගික නිලධාරිනී සැන්ඩ්‍රා ද සොයිසා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි ව්‍යාපාර සහ මහා පරිමාණ ව්‍යාපාර අලෙවි - උප සභාපති - නවීන් පීරිස් සහ රාජකීය - ශා. තෝමස් ඒකාබද්ධ තරග කමිටුවේ සම සභාපති රොෂාන් ඇඩම්ස්.

මෙරට පාසල් ක්රිකට් ක්ෂේත්‍රයේ දීර්ඝතම ඉතිහාසයක් සහිත මහ තරගය ලෙසින් ප්රමුඛතම බාලක පාසල් දෙකක් වන කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර ඩී.එස්. සේනානායක අනුස්මරණ පළිහ වෙනුවෙන් පැවැත්වෙන සුප්රසිද්ධ නිල් මහ සටනේ අඛණ්ඩ 142 වැනි ගැටුම, 2021 මැයි මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

කොවිඩ් -19 වසංගත තත්වය හේතුවෙන් යම් සීමාකිරීම්වලට යටත්ව ප්රේක්ෂක සහභාගීත්වයකින් තොරව මෙවර නිල් මහ සටන පැවැත්වෙන අතර, සෞඛ්ය අමාත්යංශය විසින් නියෝග කර ඇති ආරක්ෂිත මාර්ගෝපදේශනයන් මෙන්ම ක්රීඩා කරන තත්වයන් පිළිබඳ ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නියාමනයන්ටද යටත්ව මෙය පැවැත්වීමට යෙදී තිබේ. 142 වැනි නිල් මහ සටන, ‘ඩයලොග් ටෙලිවිෂන්’ නාලිකා අංක 72 ඔස්සේ මෙන්ම ThePapare.com හි සහ Dialog ViU ඇප් ඔස්සේද සජීවීව විකාශය කිරීමට නියමිතය. මස්ටෑන්ග් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන දෙවිදුහල් අතර එක්දින සීමිත පන්දුවාර වාර්ෂික ක්රිකට් සටන මෙවර පන්දුවාර 20 තරගයක් ලෙසින් 2021 මැයි මස 10 වැනිදා පැවැත්වීමට යෙදී තිබේ.

උද්ගතව ඇති වසංගත තත්වය මධ්යයේ මෙරට ප්රමුඛතම මහ ක්රිකට් ගැටුම මෙතෙක් පැවැති සම්ප්රදායෙන් බැහැරව හෙවත් වසර වසර 142ක ඉතිහාසයේ පළමු වරට කොළඹින් බැහැරව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ ක්රීඩා කෙරෙනු ඇත. මේ සඳහා සහභාගීවන කණ්ඩායම්, පුහුණුකරුවන්, සහාය කාර්යමණ්ඩලය සමඟ විනිසුරුවරුන් සහ තරග නිලධාරීන්ද, දකුණු පළාත් සහ හම්බන්තොට කලාප සෞඛ්ය සේවාවන්ගේ අධීක්ෂණය යටතේ කොවිඩ්-19 සෞඛ්ය මාර්ගෝපදේශනයන් හා අනුගතව ජෛව ආරක්ෂණ පරිසරයන් යටතේ තරගයට එක් වනු ඇත.

නිල් මහ සටනේ 2021 තරගයට මෙරට ප්රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගම විසින් මෙවරත් අනුග්රාහක සවිබලය ලබාදෙන අතර එහිදී ගල්කිස්ස ශාන්ත තෝමස් කණ්ඩායම තුන් ඉරියව් ක්රීඩක ශලීන් ද මෙල් විසින්ද, රාජකීය කණ්ඩායම දක්ෂ පිතිකරුවකු වන අහන් වික්රමසිංහ විසින්ද මෙහෙයවනු ලබයි.

රාජකීය-ශාන්ත තෝමස් මහ තරගයට වසර 142ක් පුරා විහිදුණු වර්ණවත් ඉතිහාසයක් හිමිවේ. එය ලොව දෙවැනි දීර්ඝතම කාලයක් අඛණ්ඩව පැවැති ක්රිකට් තරගාවලිය වන අතර එය දෙවැනි වන්නේ ඔස්ට්රේලියාවේ ඇඩිලේඩ් හී ශාන්ත පීතර විදුහල හා ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් විදුහල අතර වාර්ෂික ක්රිකට් තරගයට පමණකි. එය ඇරඹී ඇත්තේ රාජකීය-ශාන්ත තෝමස් තරගය ඇරඹීමට එක් වසරකට මත්තෙනි. එංගලන්තය සහ ඔස්ට්රේලියාව අතර අළුබඳුන කුසලාන ක්රිකට් තරගාවලිය ඇරඹෙන්නේ රාජකීය-ශාන්ත තෝමස් වාර්ෂික මහ තරග ඇරඹුමෙන් දෙවසරකට පසුවය.

වර්ෂ 1880 දී දෙවිදුහල් අතර පළමු මහ සටන, ගාළු මුවදොර පිටියේ වර්තමානයේ ටාජ් සමුද්රා හෝටලය පිහිටා ඇති ප්රදේශය ආශ්රිතව පැවැති අතර ශත වර්ෂාධික කාලයක් පෙරට ගිය වාර්ෂික සටනක ඇරඹුම පිණිස එදා කණ්ඩායම් දෙකම පිටියට පැමිණ ඇත්තේ බේරේ වැව බෝට්ටු වලින් තරණය කරමින් වීම සුවිශේෂී වේ.

රාජකීය-ශාන්ත තෝමස් මහ තරගයේදී බිහිවූ ක්රිකට් ක්රීඩකයන් අතර පසුකලෙක මේ රට පාලනය කිරීමටද වරම් ලැබූවෝ වූහ. ජාතියේ පියා ලෙස හැඳින්වෙන දිවංගත මහාමාන්ය ඩී.එස් සේනානායක (1901-1902) ඔහුගේ පුත් දිවංගත ඩඩ්ලි සේනානායක (1927-1929) යන හිටපු අගමැතිවරුන් ශාන්ත තෝමස් විදුහල නියෝජනය කරමින්ද හිටපු අග්රමාත්ය ශ්රීමත් ජෝන් කොතලාවල (1914-1915) මෙන්ම ප්රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන (1925) රාජකීය විදුහල නියෝජනය කරමින්ද අදාළ වසරවලදී මෙම ඓතිහාසික මහ සටනට ක්රීඩා කළහ.

මහත් විවාදයකට ලක්වූ 1885 තරගය සමඟින් නිල් මහ සටන් ඉතිහාසයේ මේ දක්වා කණ්ඩායම් දෙකම ජයග්රහණ 35 බැගින් වාර්තා කර ඇත. පළමු දිනයේ රාජකීය විදුහල ලකුණු 09කට සියලුදෙනා දැවීගොස් , දෙවැනි දිනයේ ක්රීඩා නොකෙරුණු අදාළ 1885 තරගය තමන් ජයගත් තරගයක් ලෙසින් ශාන්ත තෝමස් විදුහලේ වාර්තා අතර සටහන්වන අතර, එය ජය පැරදුමෙන් තොර තරගයක් ලෙසින් රාජකීය විදුහලේ සමරු සටහන්වල දැක්වේ. අවසන් වරට නිල් මහ සටනක් ජයගනිමින් මේ වන විට අදාළ කුසලාන ශාන්ත තෝමස් විදුහල සතුව පවතින අතර, වර්ෂ 2019 දී සිතාර හපුහින්නගේ නායකත්වයෙන් ශාන්ත තෝමස් පිල හිමිකරගත් එම කුසලාන තමන් සන්තකයට ගැනීම පිණිස, කොවිඩ් 19 බලපෑම් ලද තරග සමයක් මධ්යයේ වුව මෙවර කැපී පෙනෙන ජයග්රහණ වාර්තාකර සිටින රාජකීය පිල අභියෝගයට සැරසී සිටිති. රාජකීය පිල අවසන් වරට නිල් මහ සටනක් ජයගෙන ඇත්තේ ගීශාන්ත් පණ්ඩිතරත්නගේ නායකත්වය යටතේ 2016 වසරේදීය.

වර්ෂ 2019 යෙදුණු රාජකීය-ශාන්ත තෝමස් 140 වැනි නිල් මහ සටනේදී, මෙරට ප්රධානතම මහ තරගය සමඟින් වන සිය සාර්ථක සහ දීර්ඝ කාලීන හවුල්කාරීත්වය යළිත් පෙරට රැගෙන යෑමට ඩයලොග් කටයුතු කරන ලදී. මෙම රාජකීය-ශාන්ත තෝමස් 142 වැනි මහ තරගය, ඩයලොග් විසින් මේ සදහා අනුග්රහය සපයන 13 වැනි වසර වේ. මෙම තරගය ඇසුරින් Play for a Cause නම් සත්කාරක අරමුදලක් උදෙසා මුදල් දායකත්වය සැපයීමට ඩයලොග් කටයුතු කරන අතර, ඒ අනුව මෙම තරගයේදී රැස්කරනු ලබන එක ලකුණක් වෙනුවෙන් රුපියල් 1,000ක්ද, දවාගන්නා එක් කඩුල්ලක් වෙනුවෙන් රුපියල් 10,000ක්ද එම අරමුදලට බැර කිරීමට ඩයලොග් ක්රියා කරයි. ඉකුත් වසරේ නිල් මහ සටනේදී මෙම Play for a Cause අරමුදල වෙනුවෙන් එසේ ඩයලොග් විසින් පිරිනැමුණු මුදල රුපියල් 1,008,000 ක් විය. රාජකීය විදුහලේ සහ ශාන්ත තෝමස් විදුහලේ විදුහල්පතිවරුන්ගේ අනුදැනුම සහ උපදේශනය යටතේ උපකාර අවැසි පාසල්වලට සහායදීම සහ ඒවා බලගැන්වීමට මෙහි අරමුදල් යෙදවේ. Play for a Cause අරමුදල මගින් මේ දක්වා රුපියල් 6,151,000 වටිනා ක්රිකට් ආම්පන්න ආධාර අවැසි පාසල් 10ක් වෙත ප්රදානය කර තිබේ.

විශිෂ්ටත්වයෙන් ඉහළම සම්ප්රදායකට අනුව පැවැත්වෙන මෙම තරගයේදී දෙවිදුහල් අතර අන්යෝන්ය ගෞරවය, සුහදත්වය, ක්රීඩාශීලීත්වය, පිටියේ මෙන්ම පිටියෙන් එපිට මිත්රශීලී ප්රතිවාදීන් ලෙසින් වූ බැදීමක් සියවස් එකහමාරකට අධික කාලයක් පුරා පැවත එයි. වරක් රාජකීය විදුහලේ හිටපු විදුහල්පතිවරයෙක් පැවසූ පරිදි ‘ශාන්ත තෝමස් විදුහලක් නොමැතිව රාජකීය විදුහලක් නොමැත, රාජකීය විදුහලක් නොමැතිව ශාන්ත තෝමස් විදුහලක් නොමැත’ යන ප්රකාශයෙන් එය මනාව පිළිබිඹු වෙයි.

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, රග්බි, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙසද කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලි, රග්බි සමාජ, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසැල් ක්‍රිකට් හා පාසල් රග්බි තරග, යුධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.