Body

ඩයලොග් එන්ටප්‍රයිස් Google Workspace සමඟ සහයෝගීතාවයකට එළඹේ

June 22, 2021         Colombo

 

news-1

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීල්සීහි ව්‍යාපාර විසඳුම් අංශය වන ඩයලොග් එන්ටප්‍රයිස් (Dialog Enterprise), Google Cloud ආයතනය සමඟ නව සහයෝගීතාවයකට එළඹ තිබේ. ඒ අනුව මෙරට සියලු පරිමාණවල ව්‍යාපාරවලට අවශ්‍ය ව්‍යාපාරික ප්‍රගතිය සාධනය කරගැනීමට මෙන්ම සේවක ඵලදායීතාවය ඉහළ නංවාගැනීමට අවස්ථාව හිමිකර දෙමින්, ඔවුන් අතර පවතින සබැඳියාව තවදුරටත් වර්ධනය කරගනිමින්, එම ව්‍යාපාර සමඟ කටයුතු කරන ගනුදෙනුකාර භවතුන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගීතා මෙවලම් (Collaboration Tools),මේල් ස්ටොරේජ් යනාදී සේවා, ඩයලොග් එන්ටප්‍රයිස් හි සහායෙන් මෙරට තුළ පහසුවෙන් ලබාගැනීමට මෙම සහයෝගීතාවය මනා පිටිවහලක් වනු ඇත.

මෙම නවතම හඳුන්වාදීම පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි වාණිජ ව්‍යාපාර සහ මහ පරිමාණ ව්‍යාපාර අලෙවි පිළිබඳ උප සභාපති නවීන් පීරිස් මහතා දැක්වූයේ මෙවැනි අදහසකි.“නිරන්තරයෙන් වෙනස් වන අපගේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන් ඉටුකිරීම වෙනුවෙන් උසස්ම තත්වයෙන් යුත් හොඳම ඩිජිටල් සේවාවන් සහ Cloud තාක්ෂණය මත පදනම් වූ විසඳුම් ලබාදීමේ අපගේ දැක්මට අනුකූලව කටයුතු කරමින්, Google Cloud ආයතනය සමඟ අපි ඇතිකරගත් මේ සහයෝගීතාවය හරහා අපේ Cloud උපායමාර්ග වැඩි දියුණු කළ කාර්යක්ෂමතාවයකින් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට වැඩි ඵලදායීතාවයක් අත්කරදී, නව මානයකට ගෙන යනු ඇතැයි අපි විශ්වාස කරනවා. Google Workspace සමඟින් ඒකාබද්ධ වූ ඵලදායීතාවය ඉහළ නැංවෙන මෙවලම් සහ ඩයලොග් එන්ටප්‍රයිස් ආයතනයේ සේවාවන් ඔස්සේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්හි තාක්ෂණය මත පදනම් වූ අනාගත ගමන සාර්ථකත්වයේ ඵල අත්කරගනු ඇති බව අපේ ඒකායන විශ්වාසයයි.”

සුළු හා මධ්‍ය පරිමාණ පාරිභෝගිකයන්ට ප්‍රයෝජනවත් වන සේවාවන් සහ ඉතා හොඳින් කළමනාකරණය කරන ලද සේවා ක්‍රියාමාර්ග පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින්, ඩයලොග් එන්ටප්‍රයිස් ආයතනය සිය පහසුකම් හරහා සමාගම්වලට නව ව්‍යාපාරික අවස්ථා උදාකරදීමට දායකවී ඇත.Google Workspace සමඟ එක්වූ Gmail, Calendar, Drive, Docs, Sheets, Slides සහ Meet වැනි ජනප්‍රිය යෙදුම් හේතුවෙන් වැඩි ක්‍රියාකාරීත්වයක් හරහා එකම අවකාශයක් තුළ සෑම ක්‍රියාවලියක්ම කාර්යක්ෂමව ඉටුකරගැනීමේ හැකියාව ඇත. මේ නිසා පරිශීලකයන් දැනටමත් භාවිත කිරීමට හුරුවී සිටින සෑම යෙදුමක්ම මෙම සමස්ත යෙදවුම් පැස තුළ එකිනෙක සමඟ මැනවින් (Collaboration) ක්‍රියාත්මක වන බැවින් ව්‍යාපාරවල සේවය කරන පිරිසගේ ඵලදායීතාවය වැඩිකර ගනිමින් කවර හෝ ස්ථානයක සිට පහසුවෙන් සිය කාර්යාල කටයුතු බාධාවකින් තොරව කරගෙනයාමට අවස්ථාව සලසනු ලබයි.

“වර්තමානයේ එකවර ව්‍යාපාර ක්‍රියාවලි ක්‍රියාත්මක කිරීමේ නවතම තාක්ෂණික මුහුණුවරට ප්‍රමුඛත්වයක් හිමිවී තිබෙන වටපිටාවක් තුළ Workspace පහසුකම තුළ අන්තර්ගත යෙදුම් සෑම ව්‍යාපාරයකටම සුවිශේෂී වැදගත්කමකින් යුතුවන අතර, මෙමගින් ඔවුන්ගේ සේවකයන්ට ව්‍යාපාරික ස්ථානයේ රාජකාරී කටයුතු අනාගතයට ගැලපෙන පරිදි සැලසුම් කර, එම කටයුතු සම්බන්ධීකරණය කර ඒ පිළිබඳව නිසි ආකාරයට සන්නිවේදනය කිරීමටත් හැකියාව සලසනු ඇත.” යනුවෙන් Google Cloud හි ආසියා පැසිෆික් කලාපීය කළමනාකාර අධ්‍යක්ෂ - හවුල්කාරීත්ව සහ සන්ධාන - ඈෂ් විලිස් මහතා සඳහන් කළේය.

වර්තමානයේ අපට හුරුවීමට සිදුව තිබෙන ජීවන රටාව තුළ තාක්ෂණය හරහා මානූෂීය සම්බන්ධතාවයන් එකට යාකිරීමේදී Google Workspace ඔස්සේ අවධානය යොමු කර ඇත්තේ, සහයෝගීත්වයේ සමානාත්මතාවය පිළිබඳවයි. මෙයින් අදහස් වන්නේ පුද්ගලයෙකු සිටින ස්ථානය, ඔහුගේ හෝ ඇයගේ කාර්යභාරය, අත්දැකීම්, භාෂාව සහ භාවිත කිරීමට කැමති තාක්ෂණික මෙවලම් පසෙකලා සමානව දායකත්වයක් ලබාදීමට ඇති හැකියාවයි. භෞතික හා දුරස්ථ මට්ටමින් පවතින පරතරය අවම කර, උපරිම අයුරින් සෑම කෙනෙකුවම තාක්ෂණයේ භාවිතය සඳහා හවුල්කරගැනීම මෙම විසඳුම හඳුන්වාදීමේ අරමුණයි. ඒකාබද්ධ සේවාවන් සහිත Google Workspace අවකාශය භාවිතයට පහසු අතර, එය හොඳම AI සහ Search තාක්ෂණයෙන් සමන්විත වන නිසා, පරිශීලකයන්ට ප්‍රමුඛත්වය දිය යුතු කාර්යභාරයට මූලිකත්වය දී පහසුවෙන් කටයුතු කළ හැකිවේ. මෙහි ඇති නම්‍යශීලී විකල්ප හරහා පරිශීලකයන්ට ඕනෑම ස්ථානයක සිට ඕනෑම උපාංගයක් හරහා සිය රාජකාරී කටයුතු ඉටුකළ හැකි අතර, තමා සේවය කරන කණ්ඩායමේ අවශ්‍යතාවයන්ට අනුව ඊට අනුගතවන ආකාරයෙන් Google Workspace යෙදවුම් කට්ටලය සකස් කරගන්නටද (Customize) අවශ්‍ය පහසුකම සලසා දී ඇත.