Body

‘ඩයලොග් ඩිජිටල් වෙසක් කලාපය’ 2020 ඊ- ස්වාභිමානී සම්මාන ප්‍රදානෝත්සවයේදී ඇගයීමට ලක්වෙයි

මැයි 16, 2021         කොළඹ

 

news-1

(වමේ සිට දකුණට) ඩයලොග් ආසිආටා පීඑල්සී - Ideamart හි Tech Evangelist දුෂාන්ත රන්වල සහ ඩයලොග් ආසිආටා පීඑල්සී - Ideamart හි Senior Biz Lead පසිඳු ද සිල්වා සම්මානය සමඟ.

වෙසක් මංගල්‍ය වෙනුවෙන් දිවයිනේ සමස්ත බෞද්ධ බැතිමතුන්ට අර්ථාන්විත අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම නිර්මාණය කළ 'නේත්‍රාභිවන්දනා ඩයලොග් ඩිජිටල් වෙසක් කලාපය' දහවෙනි වරට පැවති 2020 ඊ- ස්වාභිමානී ඩිජිටල් නවෝත්පාදන හා නිර්මාණාත්මක නිමැයුම් හා යෙදවුම් ඇගයීමට ලක් කෙරෙන සම්මාන ප්‍රදානෝත්සවයේදී ‘සංස්කෘතික හා සංචාරක’ කාණ්ඩය ජයගැනීමට සමත් විය.

කොවිඩ් - 19 හේතුවෙන් මතුවූ තත්වය තුළ වෙනදා මෙන් වෙසක් මංගල්‍යය උත්සවශ්‍රීයෙන් සැමරීමට නොහැකිවීම සැදැහැවත් බැතිමතුන්ගේ මහත් කනස්සලට හේතුවක් විය. මීට පිළියමක් ලෙස නෙත් සිත් පහන් කරවන අයුරින් සහ නවමු අත්දැකීමක් කැටිවූ වෙබ් මාධ්‍යයක් ඔස්සේ ඔවුන්ට තම නිවෙස්වල සිටම සුරක්ෂිතව සහභාගි විය හැකි 'ඩයලොග් ඩිජිටල් වෙසක් කලාපය 2020 ' සංවිධාන කිරීමට ඩයලොග් ආයතනය පියවර ගන්නා ලදී. අභියෝගාත්මක කාලසීමාවක් මැද සියලු ශ්‍රී ලංකිකයන්ගේ සිත් සතන් පුබුදු කරවීමේ ඒකායන අරමුණින් ක්‍රියාවට නැගුණු 'ඩයලොග් ඩිජිටල් වෙසක් කලාපය 2020 ' සෑම කෙනෙකුටම ක්‍රියාකාරීව සම්බන්ධ විය හැකි ත්‍රිමාණ සජීවීකරණයෙන් යුත් Virtual වෙසක් පහන් කූඩු හා තොරණක්ද සමඟ ඩිජිටල් වෙසක් පහන් කූඩු තරගයක්, තම ආදරණීයයන් සමඟ “වෙසක් පැතුම්” බෙදාගත හැකි (ඊ - වෙසක්) කාඩ්පත් දැක්මක්, ශ්‍රී දළදා මාලිගාවේ YouTube නාලිකාව හරහා විකාශය වන “සිරි දළදා වරුණ” වැඩසටහන සජීවීව ස්ට්‍රීම් කළ හැකි link එකක් සහ “සදහම් සිතුවිලි” (අර්ථය සහිතව භික්ෂුන් වහන්සේ ධම්මපදය සජ්ඣායනය කරන) වැඩසටහන, පටිගත කළ භක්ති ගී ප්‍රසංගයකින් සහ ඩයලොග් පාරිභෝගිකයන්ට නොමිලේ ඩේටා ලබාදෙන දීමනාවලින් සමන්විත විය.

ඩයලොග් ලද මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනී අමලි නානායක්කාර මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය.“ ඊ- ස්වාභිමානී ඩිජිටල් නවෝත්පාදන හා නිර්මාණාත්මක නිමැයුම් හා යෙදවුම් ඇගයීමට ලක් කෙරෙන ජාතික සම්මාන ප්‍රදානෝත්සවයේදී ‘සංස්කෘතික හා සංචාරක’කාණ්ඩය ජයග්‍රහණය කිරීම අපට මහත් ගෞරවයක්. සෑම සැදැහැවත් බැතිමතෙකුටම සම්බන්ධ විය හැකි 'ඩයලොග් ඩිජිටල් වෙසක් කලාපය 2020’ වැනි මාධ්‍යයක් හඳුන්වාදීම වෙනුවෙන් අප දැරූ උත්සාහය ඇගයීමට ලක්වීම පිළිබඳවත්, පසුගිය වසරේ රට මුහුණපෑ තත්වය තුළ, නවමු අත්දැකීමක් ලබා දෙමින්, අපේ සංස්කෘතිය සමග බද්ධ වූ ආගමික සිරිත් විරිත් හා යෙදීමට ශ්‍රී ලාංකීය සිත් සතන්වලට අවස්ථාවක් ලබාදීමට හැකිවීම පිළිබඳවත් අපි නිහතමානීව සතුටු වෙනවා.”

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන ආයතනය විසින් සංවිධාන කරනු ලබන ඊ- ස්වාභිමානී ඩිජිටල් නවෝත්පාදන හා නිර්මාණාත්මක නිමැයුම් හා යෙදවුම් ඇගයීමට ලක් කෙරෙන ජාතික සම්මාන ප්‍රදානෝත්සවයකදී ඩයලොග් ආයතනය අඛණ්ඩව රන් සම්මානයෙන් පිදුම් ලැබූ දෙවනි අවස්ථාව මෙයයි. මීට පෙර සිය විප්ලවීය ඇන්ඩ්‍රොයිඩ් යෙදුම වන ‘APPMAKER’ සඳහා ඩයලොග් ආයතනය සම්මානයට පාත්‍ර විය. සමාජයේ සියලු කොටස් ඒකරාශී කර කාර්යක්ෂමව නව සේවාවන් හඳුන්වාදී, ජනතාව සවිබලගැන්වීමට සහායවීමෙන්, සමාජයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට සමත්වූ විශිෂ්ට, ඉදිරි දැක්මක් සහිත දේශීය නව්‍ය ඩිජිටල් විසඳුම් සහ නවීනතම තාක්ෂණය කැටි වූ යෙදුම් ඊ - ස්වාභිමානී සම්මාන ප්‍රදානෝත්සවයේදී ඇගයීමට ලක් කරයි.