Body

ඩයලොග් ආසිආටා සමාගම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ පුරෝගාමිත්වයෙන් ක්‍රියාත්මක වන 'ගමට සන්නිවේදනය' ව්‍යාපෘතිය සමඟ එක්වෙයි

ව්‍යාපෘතියේ පළමු අදියර රත්නපුරෙන් ඇරඹෙයි

2021 මාර්තු 2         කොළඹ

 

news-1

ඩයලොග් ආසිආටා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ 'ගමට සන්නිවේදනය' ව්‍යාපෘතිය සමඟ එක්වෙයි
වමේ සිට දකුණට: ශ්‍රියානි මෑවැල්ලගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ - තරඟකාරී අංශය - විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, සුපුන් වීරසිංහ - සමූහ ප්‍රධාන විධායක - ඩයලොග් ආසිආටා පීඑල්සී, ඕෂධ සේනානායක - අධ්‍යක්ෂ ජනරාල් - විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, සුදත් වාකිෂ්ඨ - නියෝජ්‍ය අධ්‍යක්ෂ - සංඛ්‍යාත කළමනාකරණ අංශය - විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ප්‍රදීප් ද අල්මේදා - සමූහ ප්‍රධාන තාක්ෂණ නිලධාරී - ඩයලොග් ආසිආටා පීඑල්සී.

news-1

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ක්‍රියාත්මක වීම ආරම්භ වූ 'ගමට සන්නිවේදනය' වැඩසටහනේ පළමු පස් පිඩැල්ල කැපූ අවස්ථාව

සෑම ශ්‍රී ලාංකිකයෙකු එකිනෙකා හා යා කරමින්, රටම ඩිජිටල් පහසුකම්වලින් බලගැන්වීමේ සිය දැක්මට අනුව ඩයලොග් ආසිආටා සමාගම (ඩයලොග්), ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන 'ගමට සන්නිවේදනය' වැඩසටහනේ පළමු අදියර රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ නව ආවරණ කලාප 37 ක් ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතිය මගින් මෙම වැඩසටහන ආරම්භ කරන ලද අතර, ඩයලොග් ආයතනය විසින් 2021 ජූලි මාසය වන විට කලාප 18 ක් ස්ථාපිත කිරීමට නියමිතය. 'ගමට සන්නිවේදනය' මීළඟ අදියර මගින් කුරුණෑගල, මාතර සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයක දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල 4G ආවරණය පුළුල් කිරීමට අවධානය යොමු කරන අතර, 2022 අගභාගය වන විට 100% කට ආසන්න ආවරණයක් ලබාදීම එහි අරමුණයි.

මෙම අවස්ථාවට එක්වෙමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා මෙසේ පැවසීය "විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ඩයලොග් ආයතනය එක්ව අද දින රත්නපුර දිස්ත්‍රික්කයේ නාපාවල ග්‍රාමයෙන් ආරම්භ කළ ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරනවා. මේ වැඩසටහන හරහා අපි අපේක්ෂා කරන්නේ රටම ඩිජිටල්කරණය කරා පියමං කරන ගමනට අත්‍යවශ්‍ය සන්නිවේදන යටිතල පහසුකම් ලබාදීමයි. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ මෙම වැඩසටහනත් සමඟම මේ වසරේදී කුරුණෑගල, මාතර සහ අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක 10 ක ආවරණය පුළුල් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මේ තුළින් සමස්ත ශ්‍රී ලංකාවටම 100% ක ආවරණයක් ලබාදීම අපගේ අපේක්ෂාවයි.”

මේ සම්බන්ධයෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. “ඉගෙනුම් සහ රැකියා කටයුතු නිවසේ සිට ඉටුකිරීමට සිදුව තිබෙන පසුබිමක් හමුවේ සන්නිවේදන පහසුකම් අතිශයින් වැදගත් මූලික අංගයක් බවට පත්ව තිබෙන අවස්ථාවක, මුළු රටේම දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල 4G ආවරණය පුළුල් කර, අපගේ පාරිභෝගිකයන්ට සහායවීම සඳහා අප දරන තවත් උත්සාහයක් ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමඟ එක්ව ‘ගමට සන්නිවේදනය' වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපි බෙහෙවින්ම සතුටට පත්ව සිටිනවා. ඉදිරි මාස කිහිපයේදීත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අපගේ සම්පූර්ණ සහයෝගය ලබාදී 'ගමට සන්නිවේදනය' වැඩසටහන සාර්ථක කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.”