Body

2023 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනග්‍රාහකත්වය ‘ඩයලොග්’වෙත

January 14, 2021        Colombo

 

fisherman in Tissamaharama

ඡායාරූපයේ වමේ සිට දකුණට (අසුන්ගෙන): ග්‍රාන්ට් ෆලවර් (පිතිකරණ පුහුණුකරු), කුසල් මෙන්ඩිස්, ලහිරු තිරිමාන්න, නුවන් ප්‍රදීප්, අසන්ත ද මැල් (කණ්ඩායම් කළමනාකරු), ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, මිකී ආතර් (ප්‍රධාන පුහුණුකරු), සුරංග ලක්මාල්, දිල්රුවන් පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, ඩේවිඩ් සාකර්, (පන්දු යවන්නන්ගේ පුහුණුකරු)

ඡායාරූපයේ වමේ සිට දකුණට (සිටගෙන): ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග, ඕෂධ ප්‍රනාන්දු, මිනෝද් භානුක, රොෂේන් සිල්වා, රමේෂ් මෙන්ඩිස්, දසුන් ශානක, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, ලසිත් ඇඹුල්දෙණිය, අසිත ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, ෂේන් මැක්ඩර්මොට් (පන්දු රකින්නන්ගේ පුහුණුකරු)

මෙරට ක්‍රීඩාවට නොමද දායකත්වයක් ලබාදෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙසින් 2023 වසර දක්වා, සිය අනුග්‍රාහකත්වය දැක්වීමට ඉදිරිපත් විය. ඒ අනුව ඩයලොග් සමාගම පිරිමි හා කාන්තා ජාතික කණ්ඩායම් ද්විත්වයේම උන්නතිය වෙනුවෙන් ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20 යන සෑම ආකෘතියක් යටතේම සිය අනුග්‍රාහකත්වය ලබාදෙනු ඇත.

ඩයලොග් ආසිආටා සමාගම 2020 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 9 වෙනි වරටත් 'වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සන්නාමය’ ලෙස අභිෂේක ලැබූ අතර, වසරේ ජනප්‍රියතම සේවා සන්නාමය' සහ 'වසරේ ජනප්‍රියතම තාරුණ්‍යයේ සේවා සන්නාමය' යන සම්මාන ද දිනාගැනීමට සමත් විය. අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ වටිනාම වෙළඳ නාමය බවට ලොව ප්‍රමුඛතම ස්වාධීන වෙළඳ නාම තක්සේරුකරණ උපදේශන ආයතනය වන බ්රෑන්ඩ් ෆිනෑන්ස් විසින් නම් කරනු ලැබූ අතර අඛණ්ඩව 13 වන වරටත් වටිනාම විදුලි සංදේශ වෙළඳ නාමය යන සම්මානය ද ලබාගන්නටත් ඩයලොග් සමාගම සමත් විය. ඩයලොග් සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් සවිබලගැන්වීමේ දැවැන්ත කාර්යභාරයට 2013 වසරේ ජුනි මස 1 වැනිදා එක්වූ අතර, 2023 වසරේ සැප්තැම්බර් මස දක්වා එම අනුග්‍රාහකත්වය දීර්ඝ කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පෝෂණය කිරීමෙහි දශකය සම්පූර්ණවීමට නියමිතය.

මෙම සුවිශේෂී අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ තරුණ හා ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින් “දේශීය ක්‍රීඩාව දිරිගන්වමින් ශක්තිමත් හා දිගුකාලීන හවුල්කරුවකු වශයෙන් හා වසර ගණනක් පුරා ශ්‍රී ලංකා ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ඉටුකළ කාර්යභාරයට ඩයලොග් ආසිආටා සමාගම වෙත ස්තූතිය පුද කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. මෙම හවුල්කාරීත්වය තුළින් අනාගතයේදී ශ්‍රී ලංකාවේ දක්ෂ තරුණ තරුණියන්ට ජාතික හා ජාත්‍යන්තර තලයේදී සිය උපරිම දක්ෂතා අතරට පැමිණෙන්නට හැකි වනු ඇතැයි අප තරයේ විශ්වාස කරනවා.” යනුවෙන් සඳහන් කළේය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙසින් මෙරට ක්‍රීඩාව වෙනුවෙන් දශකයක කාලයක් පුරා අපගේ දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳ අප ඉතා ආඩම්බරයට පත්වනවා. මිලියන 15ක් ඉක්මවූ අපගේ ගනුදෙනුකරුවන්ට හා සෙසු ශ්‍රී ලාංකිකයින්ට ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ඇති ඇල්ම හා ජාත්‍යන්තර පිටිය තුළ අඛණ්ඩ විශිෂ්ටත්වය හඹායෑමේ ප්‍රයත්නයට එක්වීමට ලැබීම සුවිශේෂී වරප්‍රසදායක්.” යනුවෙන් ඩයලොග් ආසිආටා පී.එල්.සී. හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා අදහස් දැක්වීය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස ඩයලොග් ආසිආටා සමාගම ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදෙන අතරම, අප ආයතන දෙකම ක්‍රික‍ට් ක්‍රීඩාවේ පැහැබර අනාගතයක් වෙනුවෙන් කටයුතු කිරීම ක්‍රිකට් ක්‍රීඩාවට හා ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමයට හොඳ නිමිත්තක්.” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රකාශ කළ අතර වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු “පිටියේදී හා ඉන් පිටත විශිෂ්ටත්වය පිළිබඳ අපගේ කීර්තිය ලබාදෙන අතරම අපගේ අනුග්‍රාහකයන්ට වැඩි වටිනාකමක් ලබාදීම සඳහා ඩයලොග් සමඟ එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අපේක්ෂා කරනවා.” යනුවෙන් සඳහන් කළේය.

1996 වසරේදී එක්දින ක්‍රිකට් ලෝක ශූරයන් හා 2014 වසරේදී විස්සයි-20 ක්‍රිකට් ලෝක ශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම 2002 වසරේ පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී සම ජයග්‍රාහකයන් බවට පත්වූ අතර 1986, 1997, 2004, 2008 හා 2014 වසරවලදී පිළිවෙලින් 5 වරක් ආසියානු කුසලාන ශූරයන් බවටද පත්විය. ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ කඩුලු 800ක් දවාගනිමින් අසමසම ලෝක වාර්තාවකට හිමිකම් කියන අග්‍රගණ්‍ය පන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන්, ලොව බිහිවූ වඩාත්ම ප්‍රහාරාත්මක පිතිකරුවකු වන සනත් ජයසූරිය, එක්දින ලෝක කුසලාන කරා ශ්‍රී ලංකාව මෙහෙයවූ නායක අර්ජුණ රණතුංග, විශිෂ්ට පිතිකරුවකු වන අරවින්ද ද සිල්වා, පිතිකරණ තාක්ෂණයේ නිපුණයෙකු වන මහේල ජයවර්ධන, මනරම් පිතිහරඹයක නියැළුනු හා විස්ඩම් සඟරාව මඟින් 2012 වසරේදී සහ 2015 වසරේදී ‘වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා’ ලෙසින් නම් කළ කුමාර් සංගක්කාර වැනි ලෝක පූජිත ක්‍රිකට් විශිෂ්ටයන් රැසක් ශ්‍රී ලංකා ක්‍රිකට් තුළින් බිහිවී තිබේ. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ ‘මක්කම’ ලෙසින් විරුදාවලිය ලද ලෝකප්‍රකට ‘ලෝඞ්ස්’ ක්‍රීඩාංගණයේ හිමිකාරිත්වය දරණ හා ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති සම්පාදනය කරන මාලිබෝන් ක්‍රිකට් සමාජයේ වත්මන් සභාපතිධුරය හොබවන කුමාර් සංගක්කාර එම ධුරයට තේරී පත්වූ පළමු බ්‍රිතාන්‍ය නොවන සාමාජිකයා ලෙසින්ද ඉතිහාසයට එක්වී තිබේ.

ඩයලොග් ආසිආටා ජාතික ක්‍රිකට්, රග්බි, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙසද කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලි, රග්බි සමාජ, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසැල් ක්‍රිකට් හා පාසල් රග්බි තරග, යුධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.